Saturday, October 26, 2013

84. අපේ නොවෙන අපේම දේවල්…

 

විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ඕසම්…” යැයි මුහුණුපොතට බෑඟිරි ගැසූයෙමි… දැන් ඉතින් ෆිල්ම් එක බැලුවේ නැතත් මොකද…? මට සිතුණි…

“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා…” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගයයි… මටද මගේ නොවන කුමක් හෝ දෙයක් ඇතිදැයි මම සිතන්නට වීමි… කොටින්ම මේ මොහොතේ අනෙක් පුටුවේ වාඩිවී පුටු ඇඳි දෙකම අයිති කරගෙන චිත්‍රපටිය නරඹන සද්දන්තයා මට අහිමි කර ඇති, මගේ නමුත් මගේම නොවන පුටු ඇන්දේ පටන් ජීවිතය පුරාම වැඩියෙන්ම මට තිබී ඇත්තේ එවැනි දේ බව මට පසක් විය… ගායනයේ තාලයට සෙමින් මාගේ දෑස පියවෙන්නට වූයෙන් මටත් නොදැනීම මා නිදිලොවට පිවිසෙන්නට ඇතැයි සිතමි… සුලු මොහොතකින් මා සිටියේ නිවසේ හාන්සි පුටුවේ වැතිරීගෙනයි… මට මෙන්ම ලෝකයේ අනිත් අයටත් ඔවුන්ගේ නොවෙන ඔවුන්ගේ දේවල් ඇතිදැයි සෙවීමට මට ආශාවක් ඇතිවූයෙන් මම හනික නිවසින් එළියට පියමැන්නෙමි…

මුලින්ම මට හමුවූයේ එහා ගෙදර සිල්වා අංකල්වයි…

“අංකල් කඩේ ගියාද…?” මම ඇසුවෙමි…

“ඔව් පුතා මේ එක්සර්සයිස් එකටත් එක්ක පොඩ්ඩක් ඇවිදගෙන ගියා…” තුංමුණින් දහදිය පෙරාගෙන අංකල් පවසයි…

“අංකල් මම මේ අහන්නම කියලා හිටියේ… මෙහෙම ඇහුවා කියලා මං ගැන වැරදියට හිතන්න එපා…”

“පිස්සුද පුතා… අහන්න ඕනේ දෙයක්…”

“අංකල්ට අංකල්ගෙ නොවෙන අංකල්ගේම මොනවා හරි තියෙනවද…?”

සිල්වා අංකල් ටික වේලාවක් කල්පනා කරන්නට විය…

“හරි තියෙනවනේ පුතා…”

“මොකද්ද අංකල්…?”

“ඇයි ළමයෝ මගේ පඩි පැකට් එක…!”

සිල්වා ඇන්ටි ගේට්ටුව අසල හිඳ උගුර පාදද්දී සිල්වා අංකල්ගේ මුහුණ ශෝචනීය වූයෙන් ඔහුට සමුදුන් මම හන්දිය බලා පිටත් වීමී… කෑගසාගෙන පැමිණි ප්‍රයිවෙට් බසයක් මා අසල නැවැත්වූ අතර පසෙකට පැනගැනීමටත් ප්‍රථම කොන්දොස්තරවරයා මාගේ කොන්දෙන් අල්ලා අසුරු සැණින් බස්රථයට පටවා ගන්නා ලදී… ඔහු කාරුණිකව මඟීන් අමතන අයුරු දැකීමෙන් පිනාගිය මා පමා නොවී මාගේ පැනය ඔහුටද යොමු කළෙමි…

“මල්ලි මේ අහන්ඩකෝ…”

“මට ඇහුන්නෑ…”

රියැදුරු අසුනට ඉහළින් එල්ලුණු එල්.සී.ඩී. තිරයක මහ හඬින් වැයෙන සංගීත සාජ්ජයකි… මඳක් ඔහුට ළංවුණු මම ඒ හඬ පරයා කෑගැසුවෙමි…

“මල්ලිට මල්ලිගේ නොවෙන මල්ලිගෙම මොනවා හරි තියෙනවද..?”

ඔහු කල්පනා කරද්දී අසළවූ මඟියෙක් අපට බාධා කළේය…

“තියෙනවා නේන්නං… මගේ ඉතුරු රුපියල් දෙක..! දැන් ඉතින් ඒක මුගේ නොවෙන මුගේම දෙයක් තමයි… ”

මා පසෙකට තල්ලු කර මඟියාගේ කොලරයෙන් අල්ලාගත් කොන්දොස්තරවරයා ඔහුට ආදරයෙන් ඇමතීය…

“මේ මහත්තයා අරූ මූ කියන්න එපා හරිද…? මහපාරේ රස්සාව කළාට අපිත් ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු…”

“ආත්ම ගෞරවයක් තියෙනවනං මගේ රුපියල් දෙකට කෙලියිද…?”

එන පොට හොඳනැති බව වැටහුණු හෙයින් මා බස් රියෙන් බැසගන්නා අටියෙන් හීන්සීරුවේ ඉදිරිපස දොර වෙත ඇදුනි… ඉදිරි නැවතුමෙන් බැසගන්නා බව රියදුරාට දැනුම්දුන් මා නිකමට මෙන් මාගේ දැවෙන ප්‍රශ්නය ඔහුටත් යොමු කළෙමි…

“අයියාට අයියාගේ නොවෙන අයියාගේම මොනවා හරි නැද්ද…?”

මඳක් කල්පනා කළ රියැදුරු මහතා යමක් සිහිවූ සෙයින් සිනාසුනි…

“තියෙනවා නේන්නං…”

“ඒ මොකද්ද..?”

“ඇයි මේ පාර…! මේක ඉතින් මගේ නොවුනට මගේම පාර වගේ තමයි…”

පදික වේදීකාවේ ගමන්කළ මඟියෙකු කාණුවට විසිකරමින් වැරදි පැත්තෙන් තවත් බස් රථයකට ඉස්සර කළ ඔහු, බස්නැවතුම පසුවී මීටර් සියයක් පමණ ගියපසු බරාස් ගා බ්‍රේක් පාරක් ගසමින්, පාර මැදම බස් රථය නවතා මට පැවසීය… මම හනික ඒ අවසරයෙන් බිමට පැනගතිමි…

“මැරෙන්ඩද ඕයි යන්නේ…” පුෂ් බයිසිකල්කරුවෙක් මට ආචාර කරමින් උගේ වුණත් උගේ නොවෙන හයිවේ එක මඟහැර මට වෙට්ටුවක් දමාගෙන යන්නට ගියේය…

වටපිට බැලූ මා දුටුවේ මැදිවියේ මිනිසෙකු අසල ඇන තබාගෙන දුකින් හඬාවැටෙන අයුරුයි…

“මොනවා මේ අමරසිරි පීරිස් මහත්තයා නේද…!?”

අමරසිරි පීරිස්ව හඳුනාගැනීම මට අපහසු නොවීය…

“මම මේ ඔයාගේ සිංදුව ගැන හිත හිතමයි හිටියේ…?”

“මතක් කරන්න එපා ඔය සිංදුව… ඒක මගේ වුනාට දැන් මගේම සිංදුවක් නෙමෙයි…”

“ඔයාගේ වුනාට ඔයාගෙම සිංදුවක් නෙමෙයි…?”

මේ අපභ්‍රංශය තේරුම්ගත නොහැකිව මම ඇසුවෙමි…

“ඔව්… අර තිරිසන් රිගින් ටෝන්කාරයෝ සිංදුව ලිව්ව කෙනයි මියුසික් දාපු කෙනයි අල්ලගෙන ඒ සිංදුව මගෙන් හොරකං කළා ඕයි..!”

මම කට ඇරගෙන අසා සිටිද්දී ඔහු පැවසීය…

“ඉතිං ඕකට ඔහොම ඉඳලා හරියන්නේ නෑ.. දැම්මේ නැද්ද කම්ප්ලේන් එකක්…”

“කාට කියලා කම්ප්ලේන් කරන්නද…?”

“අපි ජනාධිපතිතුමාට කියමු…”

“මෙච්චර පොඩි කේස් වලට ජනාධිපතිතුමා අතදායිද…?”

“මොකද නැත්තේ… ඔය පොල් හොරකම් වලටත් අතදාන්නේ…”

මම පැවසූයෙන් අමරසිරි පීරිස් ජනාධිපතිතුමා හමුවීමට යෑමට එකඟ විය… අපි හනික අරලියගහ මන්දිරය බලා පිටත්වීමු… මට අධික සතුටක් දැනුනි… දැන් ජනාධිපතිතුමාගෙනුත් මේ ප්‍රශ්නය අසන්නට පිළිවන… එතුමාගෙන් අසන එකේ විපක්ෂ නායකතුමාගෙනුත් අසන්නට හැකිනම් සියල්ල සම්පූර්ණයැයි මට සිතුනි… අමරසිරි පීරිස්ගේ ජංගම දුරකථනයෙන් මම විපක්ෂ නායකතුමා ඇමතීමී…

“මේ ඔබතුමාගෙන් පොඩි කාරණාවක් දැනගන්න අපි කතාකලේ…”

“ඔව් මොකද්ද…?”

“ඔබතුමාට ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද…?”

“මගේ නොවෙන ඒත් මගේම දෙයක්… ඔව් තියෙනවා…”

මඳවේලාවක පසු එතුමා පිළිතුරු දුනි…

“ඒ මොකද්ද…?”

“ඇයි මේ විපක්ෂ නායකකම…!”

එතුමා පවසද්දී පසුබිමින් තවත් කවුදෝ දුරකථනයට කෑගසනු මට ඇසුණි…

“ඉතිං මටත් තියෙන්නේ ඒකමනේ….!”

ඒ කවුදැයි හරිහැටි අසාගත නොහැකිවූයේ විපක්ෂ නායකතුමා ඒ සැනින්ම දුරකථනය විසන්ධි කල බැවිනි… ඒ සජිත් මන්ත්‍රීතුමාගේ කටහඬදෝයි මට මොහොතකට සිතුනි….තවත් කිහිපදෙනෙකුටම කතාකිරීමට මට අවශ්‍යය වුවත් ඒ වනවිට අපි අරලියගහ මැදුරට ළඟාවී සිටි නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි… එදින අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා නිලධාරියා අමරසිරි පීරිස්ගේ හොඳ රසිකයෙකු වීම නිසා වැඩි කරදරයක් නැතිවම අපිට ජනාධිපතිතුමා මුණගැසීමට ඇතුළුවීමට හැකිවුනි… එතුමා සැපත්වනතුරු සුවපහසු අසුන් දෙකකට බරවී බිත්ති වල එල්ලා ඇති නොයෙක් විසිතුරු සැරසිලි, කඩු කස්තාන නරඹමින් අපි විවේකීව සිටියෙමු…එතැනින් අප පසුකර යන හුරුපුරුදු තරුණයෙකු මා ඇසගැටුණේ එවිටයි…

“මේ රෝහිත මහත්තයා නේද…?”

මම හනික ඇසීමි…

“ඔව් ඔව්…”

ඔහු පිළිතුරු දුන්නේය…

“අනේ ඉතිං ගොසිප් සයිට් වල දැකලා තියෙනවා මිසක් ඇත්තට දැක්කේ අදනේ…”

මම පවසද්දී අමරසිරි පීරිස්ද ඔළුව වැනීය…

“ඉතිං මොකද මේ පැත්තේ…?”

රෝහිත ඇසීය… මම ලද අවසරයෙන් මගේ දාර්ශනික ප්‍රශ්නය ඉදිරිපත් කලෙමි…

“අපි මේ අපේ නොවෙන අපේම දේවල් මොනවද කියලා හොය හොයා යනවා… ඔබතුමාටත් එහෙම මොනවා හරි කල්පනාවට එනවද…?”

“අපේ නොවෙන අපේ දෙයක්…. හරි..! තියෙනවනේ…”

“ඒ මොකද්ද..?”

“ඇයි සැටලයිට් එක…! ඒක ඉතිං අපේ නොවෙන අපේ දෙයක් තමයි…”

මමත් අමරසිරි පීරිසුත් මුහුණට මුහුණ බලාගනිද්දී ඔහු පැවසීය… ඒ සමඟම ජනාධිපතිතුමා සැපත් වූයෙන් අපි දෙදෙනා එකත්පස්ව සිටගතිමු…

“දැන් මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ…?”

එතුමා පවසද්දී අමරසිරි පීරිස්ට පෙර මම ඉස්සර වීමි…

“ඉස්සෙල්ලාම අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද කියලා…?”

“ම්ම්ම්… එකක් නෙමේ දෙකක්ම තියනවා…”

එතුමා ඇඟිලි වලින් දෙකේ ඉලක්කම පෙන්නමින් පැවසීය…

“ඒ මොනවද ජනාධිපතිතුමා…”

“ඇයි ව‍යවස්ථාදායකයි, අධිකරණයයි… ඒ දෙකම මගේ නොවුනට දැන් ඉතින් මගේ වගේ තමයි…! හොක් හොක් හොක්…”

එතුමා මහ හඬින් සිනාවෙද්දී අපි දෙදෙනා ඔළුවේ අත්ගසා ගතිමු…

“ඇයි ඔහෙලට ඔහෙලගේ නොවෙන ඔහෙලගේම දේවල් නැද්ද…?”

සිනාව නතරකරගත් ජනාධිපතිතුමා පෙරළා ප්‍රශ්න කළේය… මට හදිසියේම සත්‍යය අවබෝධවිය…

“ඔහෙපලයන් තියෙනවා නේන්නං ජනාධිපතිතුමා…”

“ඒ මොකද්ද…?”

එතුමා ඇසීය…

“ඇයි අපේ නොවෙන අපේම ආණ්ඩුව…!”

මමත්, අමරසිරි පීරිසුත් දෙදෙනාම එකවිට පැවසූයෙමු…

 

පිංතූරය : http://www.films.lk/FilmDetails.php?id=2033

Monday, October 14, 2013

83. මැහැල්ල සහ බල්ලා…

image

මැහැල්ල,  මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය…

උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි…

ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි…

මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි…

තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය…

එහෙත් දැන් ආපසු හැරෙන්නට ගිය දුර වැඩිය…

බල්ලා බලා සිටී…

අවසන් මොහොතේ මස් කටුව ඌ වෙත විසිනොකිරීමට හේතුව වටහා ගැනීම ඌට අපහසු වියහැක…
මිනිස් සන්තානයේ පහළවෙන සංකීර්ණ සිතුවිලි බල්ලෙකුට වැටහෙනවායැ…!

උගේ බොර පැහැ නෙත්ද, නියවන උල් දත්ද අමතක කර සිත්ගන්නා සුළු කිසිවක් හෝ ඇත්දැයි දකින්නට ඇය උත්සාහා කලාය…

අඳුරු පසුබිමේ කළුපැහැ සිත්තමක් වැනි ඡායාවක් හැර කිසිත් ඇයට නොපෙනේ…

ඇය තරුණ වයසේදී ලෝම පිරුණු රට බල්ලෙකු තුරුළු කරගෙන හුරතල් කිරීමට සිහින දැකි අයුරු ඇගේ මනසේ හොල්මන් කරන්නට විය…

ඒ සිහින සියල්ල එකින් එක පහන් වී අවසානයේ ඈ අවදිවූයේ තම සැමියාගේ නිසල දෙණ අභියසදීය…
ඉන් ඉක්බිති නොනිදාම ඇය දකින තවමත් පහන් නොවූ එක් නපුරු සිහිනයකි…

මැහැල්ලට තම මන්දමානසික දියණියද ඇගේ සිඟිති දරුවාද සිහිවිය…

සිඟිත්තා තම දියණිය හා දිගු වේලාවක් තැබීම අනතුරකට අතවැනීමක් බව ඇය අත්දැකීමෙන් දනී…
බල්ලෙකු සුරතල් කරමින් නාස්ති කරන්නට කාලයක් ඇයට නොවේ…

තවත් බලා නොඉඳ ඇය මස්කටුව බල්ලා වෙත විසිකලාය…

මොහොතක පමාවකින් තොරවම එය අසල වූ කඩයක දොර පියනට හේත්තු කරගත් බල්ලා…
ඇය ළය පුරා වියරුවෙන් පහුරුගාන්නට විනි…

මුල් පිංතූරය : Nat Dickinson
Web Statistics