කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් 58ක් පමණයි… ලොවපුරා රටවල් 98ක් එය නීත්‍යානුකූලව තම අධිකරණ පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා… රටවල් 7ක් එය යුද අපරාධ වැනි විශේෂ අවස්ථාවලදී පමණක් යොදාගන්නා අතරේදී තවත් රටවල් 35ක නීත්‍යානුකූලව මරණ දඬුවම නියම කළත් පසුගිය වසර දහය පුරාවට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නැහැ… විවේකී මොහොතක කල්පනා ලොකේ හිස හැරුණු අතේ යද්දී මේ ගැන මමත් බොහෝ වෙලාවට මගේ මනසින් තර්ක කරනවා… ඒක උපරිමයටම ගිය දවසක මම මූණුපොතේ සිංහල කෝට්ස් පේජ් එකට යවපු වැකියක් එහි ඇඩ්මින් ලිශාන් හැඩ කරලා මෙහෙම පලකලා…
මරණ දඬුවම සැණකෙළි ස්වරයෙන් ක්‍රියාත්මක කරන රටවල් අතරේ ඉදිරියෙන් ඉන්න ඉරානයේ සිදුවූ, පහතින් විස්තර කෙරෙන හුදකලා සිදුවීම මගේ ඇස ගැටුණේ අද අන්තර්ජාලයේ ප්රවෘත්තී අතර රස්තියාදු ගසමින් සිටියදී… ඔබ බොහෝ දෙනෙකුට මෙය පිළුණු පුවතක් විය හැකි වුණත් බෙදාගන්න මට හිතුනා… ජායාරූප ශිල්පියා අරාශ් කමූශි
අපේ කතානායක බලාල් මීට අවුරුදු හතකට ඉහතදී මහපාරේ ඇතිවුණ ගෝරියකදී අවුරුදු 18ක් වයසැති අබ්දුල්ලා හුසේන් නැමති තරුණයාව පිහියකින් ඇන ඝාතනය කරද්දී වයස අවුරුදු විස්සක තරුණයෙක්… අත්අඩංගුවට ගන්නා බලාල් වසර ගණනක් තිස්සේ ඇසුණු නඩුවකින් පස්සේ වැරදිකරු වී මරණිය දණඩනයට නියම කෙරෙනවා… මට වැටහුණු ඉරානයේ ෂරියා නීතියට අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තම ගෙල හරහා වැටුණු තොණ්ඩුව සමඟින් පුටුවක නැගී සිටින වැරදිකරුවාගේ දෙකකුල් නිදහස් වී ගෙල හිරවීමට, ඔහු නැඟ සිටින පුටුව ඉවත්වන ලෙස පා පහරක් දිය යුත්තේ වින්දිතයාගේ පාර්ශවයෙන්…
[ඉදිරියට කියවන්න ඔබ පැකිලෙනවානම් මෙහි භයානක සංවේදී දර්ශන අඩංගු නොවේ…]
මිනිහෙකු එල්ලා මැරීම, නැරඹිය යුතුම ජාති වැඩක් ලෙස තීරණය කළ මහා ජනකායක් ඉදිරියේ මෙම මරණ දඬුවම සඳහා බලාල්ව රැගෙන ආවේ මෙලෙසින්
අතේ ඇඟිලි වලින් ගණන්කල හැකි තරම් සීමිත හුස්ම ගණනක් ඉතිරිව… මේ කෑගසන්නේ ඔහුගේ දෙවියන්ගේ නම බවට සැකයක් නැහැ…
මව් සෙනහස ඇත්තේ හරි වැරැද්දට අහු නොවෙන මානයක… දස මසක් කුස දරා සෑදු තම දරුවාගේ අවසන් මොහොත දකින්නට අවාසනාවන්තව බලාල්ගේ මව…
ඊට නොදෙවෙනි වෙහෙසක් ගෙන ඇති දැඩි කල තම දරුවා උදුරාගත් මිනීමරුවාගෙන් ලේ වල පලිය ගැනීමට සූදානම්ව අබ්දුල්ලාගේ මව…
පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? මම ඔබෙන් ඇසුවා… විශ්වාස කරන්න, විටෙක එය එකම එක කම්මුල් පහරක් තරම්…
තම ආදර දරුවා මරා දැමූ මිනිමරුවාට කම්මුල් පහරක් එල්ල කර ඔහුට සමාව දීමට තීරණය කරන අබ්දුල්ලාගේ මව…
ජීවිත දානය ලැබීමෙන් පසු, ජීවිතයක වටිනාකම කෙතරම්දැයි අවබෝධයෙන්ම දැනගෙන හඬාවැටෙන බලාල්… නැවත ජීවිතයක් නැතිකරන්නට ඔහු කිසිදා පෙළඹේයැයි මම පුද්ගලිකව හිතන්නේ නැහැ…
සමාව දීමෙන් පසු අබ්දුල්ලාගේ මවගේ දෙපා මුල වැටුන බලාල්ගේ මව…
දරු දුකෙන් හඬන මව්වරු දෙදෙනක්… බලාල්ගේ සහ අබ්දුල්ලාගේ මව්වරුන්
මේ සිදුවීමේ ඡ්යාරූප වලින් කියැවෙන කතාව හැරෙන්නට ඒ පසුබිමේ ඇති සිදුවීම් සියල්ල මා දන්නේ නැහැ… වසර ගණනක් තිස්සේ ඇදුනු නඩු තීන්දුව, ඉස්ලාම් දහම, ෂරියා නීතිය, ලේ වන්දිය ඇතුළු කතා බොහොමයක් මේ සමඟ ඈඳී ඇති… එහෙත් මෙම ඡායාරූප පෙළ නැරඹීමෙන් මම ලද අසීමිත සතුට නැමැති කිරි කළයට, ගොම මුහු කරගෙන මේ මොහොතේ ආතල් එක කුඩු කරගන්න මම මෝඩ වෙන්නේ නැහැ… ඒ ගැන උනන්දු කෙනෙකුට මේ පිවිසුම හරහා ගොස් සමස්ත සිදුවීම් දාමය ගැනම දැනගැනීමට ඔත්තුවක් සොයාගත හැකිවේවි…
සිංහල බ්ලොග් අවකාශයත් එක්තරා විදියක කල්ට් එකක්… “මෙහි සිටින්නේ සිංහල බ්ලොග් කරුවන් නොවෙයි, මං පොර මේනියාවෙන් පෙළෙන අනන්‍යතා අර්බුද රැසක්…“ කලකට පෙර කවුදෝ කීවා මට මතකයි … ඒ කතාව සියයට සියයක් මම පිළිගන්නේ නැති වුණත් වැරද්ද පිළිගැනීම සහ තවකෙකුට සමාව දීම මම මෙහි අඩුවෙන්ම දැක ඇති දෙයක් බව පැවසීම අතිශෝක්තියක් නොවෙයි… සමාව දෙන්න නම් වැරදිකරුවෙකු සිටිය යුතුයි… වැරදිකරුවෙකු නැතිවීම සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට ඇවිලෙන බ්ලොග් ගැටුම් වල ලොකුම ගැටළුවයි…
ඒ හැම එකක්ම එහෙම වුනාවේ… ජීවත් වෙන මේ සුළු කාලයේදී ඔය සියල්ල අමතක කර සතුටු වෙන්නට හැකිනම් එයයි ලොකුම දිනුම… ඒ දිනුමේ වටිනාකම දැනගෙන හෙට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට රොද බඳින සිංහල බ්ලොග් ලියන, කියවන සැමට ඇතිවන තුරු විනෝද වෙන රසවත් මතකයන් පිරුණු දිනයක් වේවායි සයිබර් සිහින බක්මහ උළෙලට මෙසේ උණුසුම් සුබපැතුම් එක්කරමි…