Sunday, July 12, 2015

109. උමතු මැහැල්ල…

images

වසර ගණනකින් තීන්ත පුසුඹක් නොවිඳ මළගිය බිත්තිද, එකිනෙකා පරයා ඉහළට නැගෙන්නට පොරබදින තෘණ ශාඛයන්ගෙන් හැඩිවූ මිදුලක්ද සහිත ඒ අඳුරු නිවස, පාරේ යන එන්නන් හැඳින්වූයේ “හොල්මන් ගෙදර” නමිනි…

ඊට සුදුසු නම එයම විය… හොල්මන් ගෙදර පසුකර යන එන්නන්ගෙන් කෙනෙකු අහම්බෙන් හෝ ඒ දෙස බැලුවහොත්, අඳුරු බැල්කනියේ සිට තමා දෙස ඇසිපිය නොහෙළා  බලාසිටින ඇස් දෙකක් දකියි…වහා ඉවත බලාගෙන කඩිනමින් ඒ නිවස පසුකර නොයන්නට එඩියක් ඇත්තෙකු වීනම්,  ඒ ඇස් අයිති දවස පුරාවට බැල්කනියේ ඇති ඇඳි පුටුවක හිඳි පිළිමයක් සේ වාඩිවී සිටිනා හොල්මන් ගෙදර හිමිකාරිය වූ උමතු මැහැල්ලකට බවද දකියි… ඇය උමතුදැයි දන්නා කිසිවෙකුත් නැති… එහෙත් කිසිවිට කිසිවෙකු හා කතාබහ නොකර මාර්ගය දෙසම නෙත් අයාගෙන සිටිනා හෙයින් ඇය උමතු යැයි විශ්වාස කිරීම සැමට පහසු වූ සේය…

හොල්මන් ගෙදරටම දිරායන, මැදිවිය මදක් ඉක්මවූ ගුප්ත මුරකරු මෙහි වෙසෙන අනෙක් ප්‍රාණියා විය… අවට කිසිවෙකු ඔවුන් හා ගනුදෙනුවක් නොවූ අතර ඉඳහිට හෝ ඒ නිවසට පැමිණියෙකු වූයේනම් ඒ ටවුමේ ග්‍රොසරියේ බඩු බෙදන කොළුවායි…

“කෝ උන්නැහේ නැතෙයි…?”

සති දෙකකට වරක් බඩුමල්ලක් කරගසාගෙන එන ඔහු මිදුලේ සිටම බැල්කනියෙන් විමසයි… පිළිතුරු වෙනුවට ඔහු දකින්නේ වචනයකදු නොදොඩා තමා දෙස බලාසිටින මැහැල්ල පමණකි… කොහේදෝ සිට දුව එන මුරකරු ගනුදෙනු බේරා බඩු මල්ල රැගෙන කුස්සියට යයි… ආපසු යන කොළුවා ගේට්ටුව වසන්නේ තවමත් තමා දෙස නෙත් අයාගෙන සිටින මැහැල්ල දෙස නොබලා සිටින්නට උත්සාහා කරමිනි… මේ ක්‍රියාවලිය බිඳෙන්නේ එහෙමත් දිනෙකය…

හොල්මන් ගෙදර මැහැල්ලට උරුම වූයේ අහම්බෙනි… මීට බොහෝ කාලයකට පෙර, බඩු ගෙනන කොළුවා අතදරුවෙකු සන්දියේ, මේ මැහැල්ල ආදරණීය බිරිඳකි… හොල්මන් ගෙදර හිමිකරුවා වූ ඇයගේ සැමියා එදිනද “ගිහින් එන්නම්…” යැයි පවසා රැකියාවට නික්මිනි… එහෙත් පොරොන්දු වූ පරිදි ඔහු නැවත පැමිණියේ නැත… ඒ වෙනුවට පැමිණියෙ අසුභ ආරංචියක් රැගත් පොලිස් නිලධාරියෙකි… ඔහුට වැරදී ඇතැයි මළසිරුර හඳුනාගන්නට යනතෙක්ම ඇයගේ විශ්වාසය විය… එහෙත් වැරදී තිබුණේ ඇයටයි… එතැන් පටන් ඇය බාහිර ලෝකය හා ඇති සම්බන්ධය කෙමෙන් බොඳවෙන්නට විය…ඉන් මාස කිහිපයකට පසු සැමියාගේ මිණීමරුවා යැයි කෙසඟ කොළුවෙකු උසාවියේදී දක්වද්දී, ඒ ගැන ඇය වදනොවුනේ බාහිර ලෝකය හා ඇගේ ඇති සම්බන්ධය ඒ වනවිටත් සම්පූර්ණයෙන්ම පාහේ අතහැරී තිබුණ හෙයිනි…

එතැන් පටන් ඇය බැල්කනියෙන් ඉවතට නෙත් අයාගෙන සිටින්නට පුරුදු විය… අසල් වැසියන්, මහමඟ, නිවාස යානවාහන වැනි ඇයට සම්බන්ධයක් නැති බොහෝදේ කාලයත් සමඟ වෙනස්වෙනු ඇය අරමුණකින් තොරව ඔහේ බලා සිටියාය…

ඒ හාත්පස වෙනදාට වඩා ආලෝකවත් වූ පුන් පොහෝ දිනයකි… රාතී ආහාරයෙන් පසු තම සුපුරුදු අසුනට වන් මැහැල්ල ගේට්ටුවෙන් ඔබ්බෙහි වූ මහාමාර්ගය දෙස බලාසිටින්නට වූවාය…ඒ ඔස්සේ ඇවිද එන මිනිසුන් තිදෙනෙක් ඇයට දර්ශනය විය… සඳ එළියෙන් ඉන් එක් අයෙක් ග්‍රොසරියේ බඩු ගෙනෙන කොළුවා බව ඇය හඳුනා ගත්තාය… අනෙක් දෙදෙනා ඔහු සමඟ යමක් වාද කරමින් සිටිනා බවක් දිස්වුනි… ඔවුන් පවසන දෙය මැහැල්ලට ඇසුණේ නැති… අවසානයේ ඔවුන් යමකට එකඟවූ බවක් පෙනුනෙන්, ග්‍රොසරියේ කොළුවා ආ දෙසටම ඇවිද ගිය අතර අනෙක් දෙදෙනා ආපසු නික්ම ගියෝය…

තවත් ටික වේලාවකට පසු පෙර කී දෙදෙනා නැවත ග්‍රොසරියේ කොළුවා ගිය දෙසටම ඇවිද යනු ඇය නිරීක්ෂණය කලාය… මුලින් ඇය සිතුවේ මේ කිසිවකට සහභාගී නොවී සිටින්නටයි… එහෙත් ටික වේලාවකට පසු ගෙතුළට ඇවිද ගිය ඈ දුරකථනය එසවූවාය… වසර ගණනාවකින් දුරකථන ඇමතුමක් ගෙන නොමැති හෙයින් ඇයට කිසියම් නුහුරු බවක් දැනුනි… ආයාසයක් දැරූ ඇය නොම්මරය මතක් කරගන්නට උත්සාහා කලාය… 9..9..1….9..1..1….1..9..9….1..1..9… අවසානයේ ඇයට එය සිහිවිය… අනෙක් පසින් ඇමතුම සම්බන්ධ වෙද්දී කිව යුත්තේ කුමක්ද, එය කිව යුත්තේ කෙසේද යන්න ගැන ඇයට මනා වැටහීමක් තිබුණි…

ඒ ඇය වසර ගණනාවකට පසු බාහිර ලෝකය හා සම්බන්ධ වුනු පළමු අවස්ථාව වූයේය…

නිමි…

Web Statistics