සහසක් සක්වල,
සුවහස් සෙනෙහස...
සුරතට ගෙන එක මිටක හොවා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
තරුමල් ඉහිරුණු,
අහස් වියන යට...
සඳදිය මුමුණන ගීය අසා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
සසරක වෙහෙසක්,
අසුරක සනහන...
සුරඟන සිනහව දෙතොල අරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා.
කවදා, කොතැනක,
කෙලෙසක හෝ නුඹ...
සියළු පැතුම් ඉටුකරන තුරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
ප.ලි.- සිඟිති දියණිය මා තුරුළේ නිදද්දී, මගේ ජංගම දුරකථනයේ සටහන් වුන ඡායාරූපයකට කවියක් ලියන්න උත්සාහා කරන්න හිතුණා...
"අත අතනෑර" යන සුන්දර යෙදුම සුමිත්රා රාහුබද්ධගේ වචන ගෙත්තමක් යැයි හඟිමි...